sri-lankas-fitch-ratings-raised-to-ccc-ccc-plus

 ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ (සී.සී.සී. ප්ලස්) දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.



මෙරට අනුගමනය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ මාවත ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියක් සඳහා පහසුකම් සපයන බව පෙන්වා දෙන එම ආයතනය, උද්ධමනය පහළ යාම, සැලකිය යුතු මූල්‍ය ගැලපීමක් සිදු වීම සහ විදේශ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වීම වැනි කරුණු මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට හේතු වූ බව සඳහන් කරයි.



කෙසේ වෙතත්, 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ ද, රජයේ ඉහළ ණය මට්ටම සහ ඉහළ පොලී ආදායම් අනුපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිය තවදුරටත් ‘CCC’ මට්ටමේ සීමා වී ඇති බවට ෆිච් ආයතනය පෙන්වා දෙයි.

මාස 48කින් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දී තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව අයවැය හිඟය පියවීම සඳහා මුදල් මුද්‍රණයෙන් වැළකී සිටීම සහ විනිමය අනුපාතයේ නම්‍යශීලී බව පවත්වාගෙන යාම ද ධනාත්මක ප්‍රවණතා ලෙස ඔවුන් හඳුනාගෙන ඇත.

වසර 2022 සහ 2023 යන වර්ෂවල පැවති ආර්ථික පසුබෑමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බවත්, 2024 වසරේදී සියයට 5කින් සහ 2025 වසරේ මුල් මාස හය තුළ සියයට 4.8කින් ආර්ථිකය වර්ධනය වී ඇති බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.