පාසල වෙත ගමන් කරමින් සිටි 12 හැවිරිදි සිසුවෙකුට, බස් රථයක් තුළදී නාඳුනන පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් කිසියම් පෙත්තක් ගිල්වීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබේ. හොරණ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මෙම සිදුවීම පසුගිය 7 දා උදෑසන පානදුර සිට රත්නපුර බලා ධාවනය වූ බස් රථයකදී සිදුව ඇත. අළුබෝමුල්ල ප්‍රදේශයෙන් බසයට ගොඩ වූ සිසුවා, රයිගම ප්‍රදේශයේදී බසයට නැගි නාඳුනන පුද්ගලයෙකුගේ ඉලක්කය බවට පත්ව තිබේ. සිසුවාගේ ප්‍රකාශයට අනුව, එම පුද්ගලයා "පුතේ කටේ මොනවාද ගෑවිලා" යැයි පවසමින්, එය පිසදමන මුවාවෙන් සිය ඇඟිලි දෙකක් බලහත්කාරයෙන් සිසුවාගේ මුඛයට දමා අනෙක් අතේ තිබූ පෙත්තක් වැනි දෙයක් මුඛය තුළට දැමීමට කටයුතු කර ඇත. අනතුරුව එම පුද්ගලයා පොකුණුවිට ප්‍රදේශයෙන් බසයෙන් බැස ගොස් තිබේ.
පාසලට පැමිණීමෙන් අනතුරුව සිසුවාට ක්ලාන්තය, ඇස් බොඳවීම සහ ශරීරයේ අප්‍රාණිකත්වය වැනි රෝග ලක්ෂණ මතු වී ඇත. ඒ පිළිබඳව මිතුරෙකුට සහ පන්තිභාර ගුරුවරයාට දැන්වීමෙන් පසු, දෙමව්පියන් විසින් ඔහුව රෝහල් ගත කරනු ලැබීය. සිදුවීමෙන් පැය දෙකකට පමණ පසු රෝහල් ගත කළ දරුවාට වෛද්‍යවරුන් විසින් සේලයින් ලබා දී ඇති අතර, ඔහු රෝහලේ හයවන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය, සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කර තිබේ. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.