
පසුගිය වසරේ දෙවිනුවරදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි අපරාධකරුවන් ගිය මෝටර් රථය බවට සැකකෙරෙන වාහනයක්, පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (7) රාත්‍රියේ සමත් විය.
මෙම සිදුවීමෙන් පසු පළා ගොස් කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටි දෙවිනුවර, පොළ පාරේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමග මෝටර් රථයේ ගමන් කළ තරුණියක් සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. රුහුණු විශ්වවිද්‍යාලය ආසන්නයේ වාහන පරීක්ෂාවකදී පොලීසිය විසින් මෙම සැකකටයුතු මෝටර් රථයට නතර කරන ලෙස සංඥා කර ඇතත්,
එය නොනවත්වා එක් පොලිස් යතුරුපැදියක ගැටීමට උත්සාහ කරමින් පළා ගොස් තිබේ.
පළා යමින් තිබූ මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහිදී රෝදවලට හානි වීම හේතුවෙන් සැකකරුවන් විසින් වාහනය දෙවිනුවර, ජනරජ මාවතේ අතහැර දමා පළා ගොස් තිබියදී සොයා ගැනිණි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථය 2024 වසරේ මාර්තු 21 වන දින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය අසල සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ බවයි.
අතහැර දමා තිබූ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් තරුණයා, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'දෙහිබාලා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙකු බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම මෝටර් රථය කඹුරුගමුව ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් ලබාගත් එකක් බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.