
බස් රථයකින් වැටී සිහිසුන්ව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ රුපියල් 315,000ක් වටිනා රන් භාණ්ඩ සහ රිදී ආභරණයක් සොරකම් කර ඇති බවට කොහුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කරන අදාළ රෝගී කාන්තාවගේ සැමියා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත. ඔහුට අනුව, සිය බිරිඳ පසුගිය 14 වන දින හැව්ලොක් සිටි වටරවුම අසලදී බස් රථයෙන් ඇද වැටීමෙන් පසු, එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර විසින් ත්‍රිරෝද රථයකින් සිහිසුන්ව සිටි ඇයව රෝහල්ගත කර තිබේ.
රෝගියා සිහිසුන්ව සිටි බැවින්, රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඇය පැළඳ සිටි එක් රන් වළල්ලක්, කරාබු ජෝඩුවක්, ප්ලාස්ටික් වළලු කිහිපයක් සහ මුදුවක් ගලවා සැමියා වෙත භාරදී ඇත. දින දෙකකට පසු බිරිඳට සිහිය ලැබීමෙන් අනතුරුව සිය ආභරණ පිළිබඳව විමසීමේදී මෙම භාණ්ඩ ඇයට පෙන්වා තිබේ.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමන් රන් වළලු දෙකක් සහ පාදයේ රිදී මුදු දෙකක් පැළඳ සිටි බවයි. ඒ අනුව, රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා රන් වළල්ලක් සහ රුපියල් 15,000ක් පමණ වටිනා රිදී මුදුවක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් සොරකම් කරන්නට ඇති බවට සැමියා සිය පැමිණිල්ල මගින් චෝදනා කර ඇති බව පොලිසිය පවසයි. කොහුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval