
මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ ජාලයන් සමග දකුණු පළාතේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ සබඳතා ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. ඊයේ (22) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බුද්ධි අංශ මෙන්ම මහජනතාව විසින් ලබාදෙන තොරතුරු මත මෙම අපරාධ ජාලයන් පිළිබඳව කරුණු හෙළිදරව් වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. රට පුරා පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු 14,000 හරහා,
රජය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව මෙවැනි අපරාධ මැඩලීම සඳහා තොරතුරු ලබාදීමට ඉදිරිපත්ව සිටින බවද අමාත්‍යවරයා කීය.
පෙර පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් පොලීසිය සහ බුද්ධි අංශ යම් පරිහානියකට ලක්ව තිබූ බව සඳහන් කළ ආනන්ද විජේපාල මහතා, වත්මන් රජයේ මූලික අරමුණ වූයේ පොලීසිය දේශපාලනීකරණයෙන් මුදවා ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය නිදහස ලබාදීම බව අවධාරණය කළේය. එම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක වන අතර බුද්ධි අංශ ද ශක්තිමත් කර ඇති බව ඔහු පැවසීය.
විදේශයන්හි සැඟවී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙකු පමණ මේ වනවිට එම රටවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. එම රටවල නීතිමය ක්‍රියාමාර්ග අවසන් වූ වහාම ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval