
දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලන නිලධාරිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදුන් බව කියන 33 හැවිරිදි සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා දෙහිවල, මල්වත්ත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්විය.
පසුගිය ජූලි මස 24 වන දින, ආහාර බෙදාහැරීමේ සේවකයන් ලෙස වෙස්වලාගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා කාර්යාලයේ සිටි සෞඛ්‍ය පරිපාලන නිලධාරිවරයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සාහ කර තිබිණි.
එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් නිලධාරිවරයා එම ස්ථානයෙන් පලාගොස් දිවි ගලවාගෙන ඇත.
පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, මෙම ඝාතන උත්සාහය සඳහා යොදාගත් ගිනි අවිය මාස අටකට පමණ පෙර ඩුබායිහිදී මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් එකක් බවයි. අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවක් මත මේ වනවිට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ උපදෙස් මත, දෙහිවල-ගල්කිස්ස සුසාන භූමියේ සඟවා තිබූ එම ගිනි අවිය තමන් විසින් වෙඩික්කරුවන් වෙත ලබාදුන් බවද සැකකරු හෙළිකර තිබේ.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ මගපෙන්වීම යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval