වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත මෙන්ම සයිටිස් (CITES) සම්මුතියේ වගන්ති ද උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස සර්පයන් හය දෙනෙකු මෙරටට ගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සැප්තැම්බර් 11 වන දින රාත්‍රියේදී, ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක වන ඇය, මෙම සතුන් තායිලන්තයේ බැංකොක් නගරයෙන් මිලදී ගෙන, ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායකට පැමිණ තිබේ. ඇය 'කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති' හරිත මාවත (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කර ඇති බව රේගු නිලධාරීන් පැවසීය. ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ මෙම සර්පයන් සූක්ෂම ලෙස සඟවා තිබී ඇත.
ඇය විසින් රැගෙන එන ලද සර්පයන් අතරට කහ ඇනකොන්ඩා (Yellow Anaconda), බෝල් පයිතන් (Ball Python), ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් (Speckled King Snake) සහ හොන්ඩියුරානු කිරි සර්පයා (Honduran Milk Snake) යන වර්ග වල සර්පයන් ඇතුළත් වේ. මෙම සර්පයන් අලෙවි කිරීම සඳහා ගෙනැවිත් ඇති බවට පොලිසිය සැක කරන අතර, ඒවා නිසි පරිදි අලෙවි නොවුණහොත් මෙරට වනාන්තරවලට මුදාහැරීමේ අවදානමක් පවතින බවත්, එය මෙරට පරිසර පද්ධතියට බරපතළ බලපෑමක් එල්ල කරන බවත් රේගු නිලධාරීන් පෙන්වා දුන්නේය.
එමෙන්ම, ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීති විරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් බව රේගු නිලධාරීන් අවධාරණය කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් රේගු පරිශ්‍රය වෙත කැඳවා දැඩි ලෙස අවවාද කර ඇති අතර, විමර්ශන අවසන් වූ පසු මෙම සර්පයන් ආපසු රැගෙන යන ලෙස (Re-Export) ද නියෝග කර ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් ගෘහාශ්‍රිතව සර්පයන් ඇති කිරීම සිදුවන බවත්, ඔවුන්ගේ ආහාර සඳහා සුදු පැහැති කුඩා මීයන් විශේෂයක් ද විශාල වශයෙන් ආනයනය කරමින් පවතින බවත් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval