wife-ties-husbands-hands-and-feet-and-kills-him-with-an-axe

 විවාහක ආරවුලක් හේතුවෙන් සැමියාගේ හිසට පොරවකින් පහර දී ඔහු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා විය. කුරුලුගම් ගම්මානයේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකාර බිරිය පොලිසියට බාරවීමෙන් පසු පෙරේදා (06දා) දහවල් කැබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.



ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි උක්කුවාගේ උපාලි හේරත් නමැති පුද්ගලයෙකි.

කුරුලුගම, කලවැදි උල්පත, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි 36 හැවිරිදි ඔහුගේ බිරිය විසින් මෙම ඝාතනය සිදු කර තිබේ.

දිගු කලක් තිස්සේ පැවැති පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොරවකින් හිසට පහර දීමෙන් පසු නයිලෝන් ලණුවකින් අත් පා ගැට ගසා ඇති බවද පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයන් අතර ද ඉඩම් ආරවුල් කිහිපයක් පැවැති බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් මාසිකව පොලිස් ස්ථානයේ පෙනී සිටීමට නියමිතව තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති චමිල රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.