a-bus-came-like-a-tentacle-hit-our-jeep-and-disappeared-from-view-range-rover-driver

 ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී සිදුවූ මාරක විනෝද චාරිකා බස් රථ අනතුරට මොහොතකට පෙර එම බස් රථය සුඛෝපභෝගී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක ගැටී තිබුණි. මෙම අනතුරෙන් ජීප් රථයේ ගමන් කළ එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකුගේ ජීවිත අනූනවයෙන් බේරී තිබේ.ඔවුන් තිදෙනා බුත්තල සිට බණ්ඩාරවෙල පිහිටි සිය නිවස බලා ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.



අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන බණ්ඩාරවෙල, පූනාගල පාරේ පදිංචි එච්. එම්. චමිදු දේශාන් (22) සහ ඔහුගේ 17 සහ 19 හැවිරිදි සහෝදරයන් දෙදෙනාය. 
අනතුරට පත්වූ බස් රථය තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් රැගත් විනෝද චාරිකා බස් රථයකි. නුවරඑළිය විනෝද චාරිකාවක් අවසන් කර ආපසු පැමිණෙමින් සිටියදී ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවිය.

අනතුර සිදුවූ අයුරු විස්තර කරමින් චමිදු දේශාන් පැවසුවේ තමන් රාත්‍රියේ බුත්තල සිට නිවස බලා ගමන් කරමින් සිටියදී, ඇල්ල දෙස සිට වේගයෙන් පැමිණි විදුලි බුබුළු දල්වා තිබූ බස් රථයක් සිය ජීප් රථයේ ගැටී වේගයෙන් ගමන් කළ බවයි. ජීප් රථය මාර්ගයේ වම් පසට හැරවීමට තමන් දැඩි උත්සාහයක් ගත් බවත්, ගැටීමෙන් පසු බස් රථය ඊතලයක වේගයෙන් ගිය බවත් ඔහු කීවේය.

අනතුරින් තම ජීප් රථයට හානි සිදුවුවද, තමන් තිදෙනාට කිසිදු හානියක් සිදු නොවූ බව චමිදු දේශාන් පවසා ඇත. පසුව ඔහු පොලිසියට සිය ප්‍රකාශය ලබා දී ඇති අතර, බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැර තිබේ. තමන්ගේ ජීවිත බේරුණත්, බොහෝ පිරිසකගේ ජීවිත අහිමිවීම සහ බරපතළ තුවාල ලැබීම ගැන තමන් දැඩි ලෙස දුක්වන බවද ඔහු සඳහන් කර තිබේ.
අත්දැකීම් විස්තර කළ වමිදු දේශාන් (22) මෙසේ කීය.

" මම බුත්තල ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් එහි කටයුතු කරනවා. අපි බුත්තල නතර වී ඉදල සති අන්තයේ බණ්ඩාර වෙල පූනාගල පාරේ තිබෙන ගෙදරට යනවා.
මේ ජිප් රථයෙන් තමයි අපි ගෙදර යන්නේ. නිතරම මේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අපි ගමන් කරන නිසා මට පාර හොඳට හුරු පුරුදුයි. කඳු බෑවුම් අනතුරුදායක වංගු සහිතස්ථාන තිබෙන තැන් මම හොඳට දන්නවා.

එදින (4) අපි ව්‍යාපාරික කටයුතු අවසන් කර මම මල්ලිලා දෙන්නා සමග බුත්තල සිට බණ්ඩාර වෙල නිවසට යාමට රාත්‍රී පිටත් වුණා. මම ජිප් රථය පදවාගෙන ගියේ. ඉදිරි පස අසුනේ මගේ බාල මල්ලි හිටියා. මගේ පිටුපස අසුනේ වීදුරුව අයිනට වෙන්න දෙවන මල්ලි (19) හිටියා.



අපි රාවණා දිය ඇල්ල පසුකර ඇල්ල දෙසට කන්දේ ගමන් කරමින් සිටියදී 15 කණුව ප්‍රදේශයේ මාරක වංගුව ආසන්නයේ දී ඇල්ල පැත්ත සිට වැල්ලවාය දෙසට තොරණක් වගේ පාට, පාට විදුලි බුබුළු දල්වා ගෙන වේගයෙන් බස රථයක් එනවා දැක්කා. බස් රථය වේගයෙන් මගේ මුහුණට ආවේ. මම ඒ සමගම ජීප් රථය පාරේ වම්පස අයිනට පුළුවන් තරම් කැපුවා. එවිටම වේගයෙන් ආපු බස රථය මගේ ජිප් රථයේ දකුණු පස ගැටී ඊයක වේගයෙන් ගියා. එවිටම ජිප් රථය නැවතුනා.

මට මොනාවත් හිතාගන්න බැරි වුණා. බස් රථය කොහේටද ගියේ කියා මට හිතාගන්න බැරි වුණා. බස රථය පිටුපසින් පැමිණි කාර් එකක් මගේ ළඟ නවතා මල්ලී බස් එක වද්දගෙන නවත්වන්නේ නැතිව ගියානේද, කියා ඇසුවා. ඉන්න මල්ලි මම බස් එක මගදී අල්ලා ගන්නම් කියා ඔහු මට දුරකථන අංකයත් දීලා, මෝටර් රථය වැල්ලවාය දෙසට පදවාගෙන ගියා. හරියටම මේ අනතුර වෙනකොට රාත්‍රි 9යි. පසුව මම මල්ලිලා දෙන්නා සමග ජිප් රථයෙන් බැහැලා ජිප් රථය බැලුවා. ජීප් රථයේ දකුණු පස පැත්තට අලාභහානි වී තිබුණා. පිටුපස දකුණු පැත්තේ ජනේලය අයිනේ හිටිය මල්ලිගේ මගෙන් අනෙක් මල්ලිගෙන් ජීවිත කිසිදු අනතුරක් නොවී අනූනවයෙන් බේරුනා. මම තාත්තාට කතා කරලා විස්තරය කිව්වා.




පසුව අපිට පහළ වංගුව දෙසින් කිසිවකු අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා. කලුවර නිසා මොනවාත් පෙනුනේ නෑ. මේ වෙලාවේ බස් රථයක අංක තහඩුවක් සහ බස් රථවල සවිකර තිබෙන සුදු යකඩ කණුවක් බිම වැටී තිඛිලා හම්බවුණා.
ඒ සමගම වැල්ලවාය පැත්තේ ඉඳලා ඇල්ල දෙසට යුධ හමුදා ට්‍රක් රථයක් එනවා දැකලා අපි නවත්තලා විස්තරය කිව්වා. පසුව ඔවුන් හමුදා ට්‍රක් රථය නවතා එහි තිබූ විශාල කඹයක් අරන් ඇවිත් ඔවුන් ළඟ තිබූ විදුලි පන්දම් දල්වා ගෙන කඹයෙන් පහළට බැහැලා, ප්‍රපාතයේ සිරවී රැඳි සිටිය කුඩා දරුවන් දෙදෙනෙකු. කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු ප්‍රපාතයෙන් උඩට ගත්තා. අපි තිදෙනා ඔවුන්ට සහය වුණා. ඒ වෙලාවේ තමයි දැනගත්තේ අපේ ජිප් එකේ හැපුනු බස් රථය රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බව.

මේ අතරතුරේ බස් රථය සොයාගෙන වැල්ලවාය දෙසට ගිය මෝටර් රථයයේ සිටි අය මට කතා කරලා කිව්වා මල්ලි බස් එක නෑ. මිනිහා මාර වේගයෙන් ගිහින් කියා. පසුව මම කිව්වා අයියා ඒ බස් එක රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ඇති බව.

ඒ සමගම ඇල්ල පොලිසියේ නිලධාරීන් ආවා. ඔවුන් පාර දෙපැත්තෙන් වැසුවා පාර අවහිර වන නිසා. ගිලන් රථ එන්න පටන් ගත්තා. අපි ප්‍රථමයෙන් උඩට ගත්ත පස්දෙනා ගිලන් රථයක දාලා බදුල්ල ශික්ෂණ රෝහලට යැව්වා.




ඉන්පසුව යුධ හමුදා නිලධාරින්, ප්‍රදේශ වාසීන්, පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන් ඇවිත් ෆෝන්වල විදුලි එළියෙන්, විදුලි පන්දම් දල්වා ගෙන කඹවල ආධාරයෙන් ප්‍රපාතයට බැහැලා බස් රථයේ සිටි තුවාලකරුවන් අමාරුවෙන් කඹවල ආධාරයෙන් ප්‍රපාතයෙන් උඩට අරගෙන ගිලන් රථවල දමා රෝහල් වලට තුවාලකරුවන් යැව්වා. විශාල පිරිසක් එකතු වී සිටියා. ජෙනරේටර් ගෙනවිත් විදුලි ආලෝකය සැපයුවා. පසුව ප්‍රපාතයෙ තිබු මළසිරුරු අමාරුවෙන් ගොඩට ගත්තා.

අලුයම පොලිස් නිලධාරීන් මගේ විස්තර ඇසුවා. පසුව උදේ 6 ට පමණ ඇල්ල පොලිසියට ගියා. පසුව මගෙන් ප්‍රකාශ අරගෙන මාව බණ්ඩාර වෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මාව නිදහස් කළා. ජිප් රථයට අලාභහානි වී තිබෙනවා.

අපි තිදෙනාගේ ජීවිත අනූනවයෙන් බේරුනාට අහිංසක ජීවිත රැසක් අහිමි වී, පිරිසක් බරපතළ තුවාල ලබා සිටීම ගැන නම් අපිට හරිම දුකයි. "

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5