daughter-was-not-wearing-a-helmet-says-father-about-colombo-university-students-accident

ගාල්ල බඳගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඇගේ පියා, "දුව හෙල්මට් දාලා හිටියේ නෑ. අපේ ඉස්සරහට ආපු ත්‍රිරෝද රථයක් පසුකරන්න පිටුපසින් ආපු වෑන් එකක් එකපාරටම පාරේ දකුණු පැත්තට ගත්තා. අපි ගියපු යතුරුපැදිය ඒ වෑන් එකේ ඉස්සරහා දකුණු පැත්තේ වැදිලා අපි දෙන්නා විසි වුණා. සිහිය එනකොට මම හිටියේ රෝහලේ" යැයි කියා සිටියේය.



මෙලෙස මියගොස් ඇත්තේ බඳගිරිය, කෑලියවලන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි හේවා කොකාවලගේ නෙත්මි ප්‍රබෝධා නමැති තරුණියකි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටියාය. ඇගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පසුගිය අගෝස්තු 8 වැනිදා ගාල්ල ජාතික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදි.

අනතුරට ලක්වූ තරුණියගේ පියා වන හේවා කොකාවලගේ නන්ද තිලකසිරි සමන් ශ්‍රියන්ත (57) මහතා සාක්ෂි දෙමින් තවදුරටත් මෙසේ සඳහන් කළේය.

"අගෝස්තු 29 වැනිදා දුව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඳලා ගෙදර එන්න ආවා. හවසට අපේ පාරේ බස් නැති නිසා මම දුව ගන්න යතුරුපැදියෙන් පල්ලමලල හන්දියට ගියා. දුව ගන්නකොට හවස 6.30 පමණ වුණා. පල්ලමලල හන්දියේ සිට බඳගිරිය දෙසට කිලෝමීටර 3ක් විතර එන අතරතුර වක්කාරිය හන්දිය අසලදී බඳගිරිය පැත්තේ ඉඳලා ත්‍රිරෝද රථයක් ආවා. එය පිටුපසින් ආපු වෑන් රථයක් ත්‍රිරෝද රථය පසුකර යාමට පාරේ දකුණු පැත්තට ගත්තා. මගේ යතුරුපැදිය ඒ වෑන් රථයේ ඉදිරිපස දකුණු පැත්තේ ගැටුණා. ඒත් එක්කම මමත් දුවත් පාරේ අයිනට පෙරළුණා. මට සිහිය නැති වුණා. ඊට පස්සේ සිදුවූ කිසි දෙයක් මම දන්නේ නෑ. මට සිහිය එනකොට හිටියේ හම්බන්තොට රෝහලේ. මගේ දකුණු කකුලටත්, දකුණු අතටත් තුවාල වෙලා තිබුණා. දුවගේ ඔළුවෙන් ලේ ගැලුවා. දුව හෙල්මට් දාලා හිටියේ නෑ. එදාම රාත්‍රියේ දුවව ගාල්ල ජාතික රෝහලට යැව්වා. මම දුව බලන්න ගියේ සැප්තැම්බර් 5 වැනිදා. ඒ වෙලාවේ දුවට හිසට සැත්කමක් කරලා සිහිය තිබුණේ නෑ. දැඩි සත්කාර ඒකකයේ හිටියේ. 8 වැනිදා දුව මියගියා."

මියගිය තරුණියගේ මව වන විජමුණි දුරගේ අනුලා (53) මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියේ, "දුවටයි මහත්තයාටයි අනතුරක් වෙලා කියලා එවලේම අපිට පණිවිඩය ලැබුණා. පුතා ඉක්මනට එතනට ගියා. මම දුවගේ දුරකථනයට ඇමතුම් ගත්තත් එයා කතා කළේ නෑ.

එතන හිටපු අය ගෙදරට ඇවිත් කිව්වා තාත්තයි දුවයි දෙන්නම රෝහලට ගෙන ගියා කියලා. මම ඉක්මනටම අවශ්‍ය බඩු අරගෙන රෝහලට ගියා. මහත්තයා කතා කළා. දුවට සිහිය තිබුණේ නෑ. එයාගේ නාහෙන්, කටින් ලේ ඇවිත් තිබුණා. එදාම රාත්‍රියේ දුවව ගාල්ල ජාතික රෝහලට ගෙන ගියා. මමත් දුවත් එක්ක ගියා. ගාල්ලේදී හිසේ සැත්කමක් කරලා දැඩි සත්කාර ඒකකයට දැම්මා. අටවැනිදා අලුයම දුව මියගියා" යනුවෙනි.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී. ඩී. සමරවීර මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා, මරණය සිදුවූයේ රිය අනතුර හේතුවෙන් හිසට සහ මොළයට සිදුවූ තුවාල නිසා බවට තීරණය කළේය.

gossiplanka image 2


gossiplanka image 3