ලබන සෙනසුරාදා, එනම් සැප්තැම්බර් 6 වන දින පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කල් දැමීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, සැප්තැම්බර් 2 වන දා රැස් වූ පක්ෂ කළමනාකරණ කමිටුව විසින් මෙම තීරණය ගත් බවයි. නායකයාට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් සහ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම සලකා බලා මෙම පියවර ගත් බවත්, කල් දැමූ සංවත්සරය මෙම මාසය තුළම වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කළාය.
මේ අතර, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ සංවත්සරය සඳහා තම පක්ෂයට මේ දක්වා ආරාධනාවක් ලැබී නොමැති බවයි. එවැනි ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව පක්ෂයේ නායකත්වය විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටියදී ඔහුගේ සුවදුක් විමසීමට ගියේ ‘මනුස්සකම’ පෙරදැරිව මිස දේශපාලන සම්බන්ධතා මත නොවන බව අවධාරණය කළ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා, එම කරුණු දෙක එකිනෙකට වෙනස් බව පෙන්වා දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval