couple-caught-distributing-heroin-around-dehiwala-while-traveling-in-a-vehicle-with-their-children

 රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බව කියන අඹුසැමි යුවළක්, ඔවුන්ගේ දස හැවිරිදි සහ සය හැවිරිදි දරුවන් දෙදෙනා ද සමග ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අගෝස්තු 28 වන දා රාත්‍රියේ රත්මලාන, බෙලෙක්කඩේ හන්දියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඔවුන් ගමන් ගත් මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 510ක් පොලිස් භාරයට ගෙන ඇත.





සැකකාර 37 හැවිරිදි සැමියා සහ 38 හැවිරිදි බිරිඳ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහාම අත්තිඩිය ප්‍රදේශයෙන් රුපියල් 40,000ක මාසික කුලී පදනම මත නිවසක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ. විදෙස්ගතව සිටින ‘ධනුෂ්ක’ නොහොත් ‘සයිමා’ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත, පිළියන්දල, මොරටුව, දෙහිවල, ගල්කිස්ස සහ බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ රැසකට ඔවුන් දීර්ඝ කාලයක සිට හෙරොයින් බෙදාහැර ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.



ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, මෝටර් රථය පරීක්ෂා කිරීමේදී සැකකාරියගේ අත්බෑගයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 210ක් පළමුව සොයාගෙන තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර යුවළ දින පහක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා යොමු කර ඇත. ඔවුන් සමග සිටි දරුවන් දෙදෙනා, ඔවුන්ගේ මිත්තණියන් වෙත භාර දීමට පොලිසිය කටයුතු කර තිබිණි.