tipper-truck-and-owner-caught-bringing-ice-chemicals-to-kandana-house

 ටිපර් රථයකින් කඳාන ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 7,000ක තොගයක් සහ එහි හිමිකරු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැප්තැම්බර් 11 වන දින අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.



අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා පාකිස්ථානයෙන් ගෙන එන ලද බවට සැක කරන අමුද්‍රව්‍ය කිලෝ 50,000ක තොගයකින් කොටසක් මෙලෙස ප්‍රවාහනය කර තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් ටිපර් රථයේ හිමිකරුගෙන් දිනකට රුපියල් 20,000ක කුලී පදනම මත මෙම ටිපර් රථය පුද්ගලයෙකු විසින් ලබාගෙන ඇති බවයි.



පසුව ටිපර් රථය කුලියට ගත් පුද්ගලයා විසින් එය රියදුරෙකුට දී මිද්දෙණිය, තලාව ප්‍රදේශයට ගෙන ගොස් තිබේ. එහිදී ගෙවත්තක තිබූ අමුද්‍රව්‍ය තොගය ටිපර් රථයේ පටවාගෙන නුවරඑළිය ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, නුවරඑළියේ නවාතැන්පොළක රථය ගාල් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ සැකයක් මත එහි හිමිකරු විසින් ඊට ඉඩ දී නොමැති බව පොලීසිය පවසයි.

නුවරඑළියේදී ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් දින කිහිපයකට පසු එය සාදාගෙන කඳාන දුම්රියපොළ පාරේ පිහිටි නිවසකට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් කොස්තාපලවරයෙකු ද අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ජාවාරමට සම්බන්ධ ටිපර් රථයේ රියදුරාද මීට දින කිහිපයකට පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත මේ පිළිබඳව පුළුල් විමර්ශන සිදු කෙරේ.