
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තැපැල් මඟින් එවනු ලැබූ වෛද්‍ය පත්වීම් ලිපියක් සොරකම් කළ බවට චෝදනා ලැබූ කාන්තාවක් රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් තිලීසියන් පෙරේරා මහතා නියෝග කර ඇත. සැකකාරිය ලබන ඔක්තෝබර් 1 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ද නියෝග කෙරිණි.
මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක වන එල්. ඒ. බී. දහනායක මහත්මියගේ නෑනා වන දිස්නා ප්‍රියදර්ශනී වික්‍රමසිංහ නැමැති කාන්තාවකි.
වෛද්‍යවරිය විසින් කුරුණෑගල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව, ඇයගේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තනතුර සඳහා වූ පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තැපෑලෙන් එවා තිබී ඇති බවත්, එය අස්ථානගත වීම නිසා නව තනතුරේ වැඩ භාර ගැනීමට නොහැකිව සිටින බවත් සඳහන් කර තිබේ. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මුලික විමර්ශන මෙහෙයවා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා ඇත.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා, පොලීසිය තම සේවාදායිකාව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බුද්ධිමය දේපළ පනත යටතේ බවත්, එය නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නේය.
එමෙන්ම, ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවාදායිකාව මුදා හරින ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා, සැකකාරිය රිමාන්ඩ් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval