three-excise-officers-arrested-for-posing-as-police-and-taking-a-bribe-of-2-million-rupees

 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුව මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාගත් සුරාබදු නිලධාරීන් තිදෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කන්කසන්තුරය ප්‍රදේශයේ නිවසකදී පසුගිය අගෝස්තු 30 වනදා

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර,

සැකකරුවන් අතර කන්කසන්තුරය සුරාබදු ස්ථානයට අනුයුක්ත සුරාබදු පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් සහ නියාමකවරයෙක් වෙති.

සැකකාර සුරාබදු නිලධාරීන්, මාදගල් ප්‍රධාන වීදියේ නිවසක් වටලා එහි සිටි පුද්ගලයකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කිරීම සඳහා ඔහුගේ සහෝදරියගෙන් මෙම ලක්ෂ 20ක මුදල ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.



මෙම අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සැලසුම් කර තිබේ. කාන්තාව විසින් සැකකරුවන්ට අල්ලස් මුදල ලබා දී තම සහෝදරයා මුදාගත් අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම, නිලධාරීන් තිදෙනා එම මුදල සමගම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුරාබදු සැරයන්වරයා සහ නියාමකවරයා නිල ඇඳුමින් සැරසී සිටි බවත්, පරීක්ෂකවරයා සිවිල් ඇඳුමින් සිටි බවත් පොලිසිය සඳහන් කරයි. මූලික විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දීමට නියමිතය.