
ඉන්දියාවේ සිර කඳවුරක සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සහෝදරයන් දෙදෙනෙකුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරටදී මෙහෙයවූ බව කියන තරුණයන් හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 25ක මුදලක් සහ 'අයිස්', 'හෑෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ, ජම්පටා වීදිය සහ ආමර් වීදිය ප්‍රදේශවලදී පසුගිය අගෝස්තු 30 වනදාමෙම සැකකරුවන් කොටුකරගෙන ඇත.
මෙම ජාවාරමේ මහ මොළකරුවන් වන පලනි රෙමෝෂන් සහ පලනි ශිරාන් නැමැති සහෝදරයන් දෙදෙනා ඉන්දියාවේ එළිමහන් සිර කඳවුරක රඳවා සිටියද, එතැන් සිට සිය මත්ද්‍රව්‍ය ජාවාරම මෙම තරුණයන් යොදවාගෙන මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇතැයි විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අපරාධයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියදී බන්ධනාගාරයෙන් පලා ආ දකුණු පළාතේ පදිංචිකරුවකු ද සිටී. ඔහු පාතාල කල්ලි ක්‍රියාකාරී වෙඩික්කරුවකු බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ පිළිබඳව ද විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන පවත්වයි.
මෙම තරුණයන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල්, ඉන්දියාවේ සිටින සහෝදරයන් දෙදෙනාගේ බැංකු ගිණුම් වෙත යොමුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval