they-are-going-to-file-a-lawsuit-against-giving-the-position-of-acting-diyawadana-nilame-to-nilanga-dela-after-the-position-is-over

 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා වූ නිලවරණය ඉදිරි මාස තුන ඇතුළත පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහතා පවසයි. ඒ සම්බන්ධ නිල නිවේදනය ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.



ඔහු ඊයේ (09) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අදාළ ආඥා පනත්වලට අනුව තමන්ට පැවරී ඇති බලතල යොදාගනිමින් මල්වතු සහ අස්ගිරි උභය විහාරයන්හි මහානායක හිමිවරුන්ගේ එකඟතාව ඇතිව නිලංග දෑල මහතා වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කළ බවයි.



මෙම පත්කිරීමට එරෙහිව ඇතැම් පිරිස් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතත්, ඒ පිළිබඳ කිසිදු නිල දැනුම්දීමක් හෝ වාර්තාවක් තමාට ලැබී නොමැති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මේ වන විට දියවඩන නිලමේ තනතුර සඳහා කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේද යන්න පිළිබඳ නිල වශයෙන් තමා දැනුවත් වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, හිටපු දියවඩන නිලමේ නිලංග දෑල, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවන සහ නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සුබසිංහ යන අය මෙම තනතුර සඳහා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.