these-are-political-vendettas-manamperis-sister-files-complaint-with-the-human-rights-commission

 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රාදේශීය මන්ත්‍රී සම්පත් මනම්පේරි නමැති වැඩිමල් සොයුරා අත්අඩංගුවට ගන්නට පොලිසියෙන් සොයමින් සිටින අතරතුර එම පවුලේ බාල නැගණියක අද දින මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කිරීමට නීතීඥයෙකු සමග පැමිණි අතර මාධ්‍ය අමතා කියා සිටියේ තම පවුලට එරෙහි දේශපාලන පලිගැනීමක් ක්‍රියාත්මක කරන බවයි.


අත්අඩංගුවට ගන්නට උත්සාහ දරන හේතුව තමන් නොදන්නා බවත් වත්තේ වළදැමූ දෙයක් හේතුව බව තමා දන්නේ පත්තර වලින් පමණක් බවත්ය.මම මේ මානව හිමිකම් කොමිසමට ආවේ අපේ සොයුරන්ට සහනයක් සහ අපිට සාධාරණයක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නයි. පොලිසියට කියලා ඔවුන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න කියන්න.



මගේ මල්ලිව අත්අඩංගුවට අරගෙන තියෙනවා. කිසිම හේතුවක් නැතුව හතරවෙනිදා ඔහුව අත්අඩංගුවට ගත්තා. සෙනසුරාදා වෙනකන් මගේ මල්ලිව තියාගෙන ඉන්න හේතුවක් මට කියලා නැහැ. පරීක්ෂණ කරලා තියෙන්නේ සෙනසුරාදා පමණයි. ඒ තෙක් පොලිසිය ඔහුව රඳවාගෙන, ගහලා තියෙනවා. ඔහුගේ මුහුණ බලන්නවත් බැහැ. මේක මොන නීතියක්ද කියලයි අපි අහන්නේ. දැන් ගෙදර ඉන්න සියලු දෙනාම අත්අඩංගුවට ගන්නවා.
නෑනලා, නෑනලාගේ නෑනලා ඇතුළු පවුලේ සාමාජිකයන් අද එක්කෙනෙක්, හෙට එක්කෙනෙක් ලෙස අත්අඩංගුවට ගන්නවා. අපි බයෙන් ඉන්නේ. අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. අපි අහිංසක මිනිස්සු. අපි මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ.

ගෙදර මල්ලිගේ මාස තුනක දරුවෙක් ඉන්නවා. ඒ දරුවාගේ මවත් අත්අඩංගුවට අරගෙන හිර කරගෙන හිටියා. ඔවුන්ව බලන්න යන්නවත් දෙන්නේ නැහැ. පසුව ගෙදරට ආපු පසු, නිවාස අඩස්සියක් දැමුවා වගේ ඔවුන්ව හිර කරලා තියෙනවා. ගෙදරින් එළියට යන්න දෙන්නේ නැහැ. කාටවත් එන්නත් දෙන්නේ නැහැ. එන අයට පොලිසියෙන් කියනවා මේ දේවල් වලට මැදිහත් වෙන්න එපා කියලා.




මම කොළඹ ඉන්නේ. මම සහ මගේ සැමියා පොඩි කඩයක් කරගෙන ජීවත් වෙන්නේ. අද උදේ පාන්දර පොලිසිය සහ STF එක මගේ ගෙදරට ඇවිත් කිසිම ලියකියවිල්ලක් නොපෙන්වා මුළු ගෙදරම සෝදිසි කළා. එසේ සෝදිසි කරලා මගේ පුද්ගලික දුරකථන දෙකත්, මගේ සැමියාගේ දුරකථනයත් රැගෙන ගියා.
ඔවුන් මගේ සැමියාව සහ ඔහුගේ සහෝදරයාව ප්‍රශ්න කිරීම සඳහා වාහනයට නැංවූවා. ඔවුන් සහෝදරයාගේ නිවසටත් ගොස් ප්‍රශ්න කළා. සියලු දෙනාම රැගෙන යන්න හදනකොට මම මගේ සැමියා ගැන කෑ ගැහුවා, මොකද මම තනියම පොඩි දරුවන් දෙදෙනෙක් සමඟ සිටින නිසා.

ඔවුන් මගේ සැමියාව සහ ඔහුගේ සහෝදරයාව  රැගෙන ගියා. එහිදී මගේ අයියාගෙන් විස්තර ලබාගත්තා. පසුව අයියාව ප්‍රශ්නයක් නැහැ කියලා නිදහස් කළා. නමුත් නැවත අපේ ගෙදරට ඇවිත්, නැවත ප්‍රශ්න කරලා, දැන් මට දුරකථන තුන ආපසු ලබා ගැනීමට පෑලියගොඩ ඒකකයට එන්න කියනවා. මම අහන්නේ මේක නීතියක්ද කියලයි.
ගෙදරකට ඇතුල් වනවා නම්, ඒ සඳහා මොනයම් හෝ ලියවිල්ලක් පෙන්විය යුතුයි. එවැනි කිසිවක් නොපෙන්වා කළ නිසා මගේ දරුවන් බිය වී ඉන්නවා. ඔවුන් අද පාසල් ගියේ නැහැ. දරුවන් බයෙන් කෑ ගහනවා "තාත්තාව පොලිසිය අල්ලාගෙන යයි අම්මේ" කියලා. 




මේ නිසා ඔවුන්ට පාසල් යන්න බැහැ, පාසල් වැඩ කරගන්න විදිහකුත් නැහැ. මගේ දුරකථනයේ සියලු වැඩ තිබුණා. මගේ දෙමාපියන් වයසයි, ඔවුන් කන්නේ බොන්නේ නැතුව ඉන්නවා.
පොලිසිය ගහන මගේ මල්ලිගේ පපුවේ කැටයක් ඉවත් කර ශල්යකර්මයක් කර තිබෙනවා. ඔහු ඒවා කියද්දී ඒවා සැලකිල්ලට නොගෙන පොලිසිය තවත් ගහනවා. මල්ලි අම්මාට කියලා තිබෙනවා "මට ගහනවා අම්මේ" කියලා. නමුත් පොලිසිය කියන්නේ අයියාව බාර දෙන්න කියලයි.
එක් අයෙක් වැරැද්දක් කළා කියලා මුළු පවුලේම සියලු සාමාජිකයින් අත්අඩංගුවට ගන්නේ ඇයි? මේක නීතියක්ද?
මගේ මල්ලි සහ අයියා පොහොට්ටුවේ මන්ත්‍රීවරු. ඒ නිසා මේක දේශපාලන පළිගැනීමක් බව පැහැදිලියි. මම මේ මානව හිමිකම් කොමිසමට ආවේ අපේ අයියලාට සහනයක් හා අපට සාධාරණයක් ඉල්ලා සිටින්නයි. කරුණාකර පොලිසියට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න.