gregory-road-security-videotaped-the-chief-justices-motorcade-within-10-days

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ පෙළ වීඩියෝ කළ බවට චෝදනා ලැබූ සැකකරුවකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.



අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා  සිය ආරක්ෂක නිලධාරීන්ද සමග කොළඹ ග්‍රෙගරි ප්‍රදේශය වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී එම ප්‍රදේශයෙහි නිවසක සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථය ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීම සිදුකර තිබුණි.

මෙම සැකකරු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළේය.

පොලීසිය අධිකරණයට දන්වා සිටියේ සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කරන බවත්, ඔහුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

සැකකරු බන්ධනාගාර නිළධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.

ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට හා සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

සැකකාර පුද්ගලයා වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා විමර්ශන සිරු කරන බව පොලීසිය කරුණු දක්වමින් පැවසීය.



සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ප්‍රකාශ කළේ, තම සේවාදායකයා මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත්, ඔහුව ඇප මත මුදා හරින ලෙසත්ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, ඔහුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසද පොලිසියට නියෝග කළේය.