ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූවන් බේරාගැනීමේ මෙහෙයුම පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අදහස් දැක්වීය. ඔහු පවසන්නේ, රාත්‍රී 9.30ට පමණ අනතුර පිළිබඳව තොරතුරු ලැබුණු පසු වහාම වෛද්‍ය කණ්ඩායම් දැනුවත් කර බදුල්ල රෝහලට ගිය බවයි. වෛද්‍යවරුන් කිහිප දෙනෙක් අනතුර වූ ස්ථානයට ගිලන් රථයකින් පිටත්ව ගිය අතර, අනෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහලේ රැඳී සිටියේ තුවාලකරුවන් බාරගැනීමටය.
අනතුර සිදුවූ ස්ථානය අඳුරේ ගිලී තිබූ බවත්, ඇල්ල - වැල්ලවාය පාරේ සිට අඩි දහසකට ආසන්න ප්‍රපාතයට කඹයක ආධාරයෙන් බැසීමට සිදුවූ බවත් වෛද්‍ය රාජපක්ෂ මහතා කියා සිටියේය. තම සෞඛ්‍ය තත්වය ගැන දැන සිටි තරුණ වෛද්‍යවරුන් තමාට පහළට නොබසින ලෙස බැගෑපත් වුවද, තම රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් හමුදා සාමාජිකයන් සමඟ කඹය දිගේ පහළට බැසීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.
ප්‍රපාතයේ සිටි ජීවත්ව සිටි පුද්ගලයන්ට ක්ෂණික ප්‍රතිකාර ලබා දී, ආරක්ෂිත බෝඩ් මත තබා "අතින් අත මල්වට්ටි" මෙන් උඩට යැවීමට කටයුතු කළ බව වෛද්‍යවරයා පැවසීය. මේ සියල්ල සිදු වූයේ ජංගම දුරකථන එළියෙන් බවත්, මෙහෙයුම අතරතුර පිපාසය සංසිඳුවා ගැනීමට හමුදා සෙබළකු සොයා දුන් වතුර බෝතල් දෙකක් බෙදාගෙන බීමට සිදුවූ බවත් ඔහු සිහිපත් කළේය. අනතුරුව, ඉහළ සිටි තරුණයෙක් යූරියා මල්ලක බහාලූ සිසිල් වතුර බෝතල් රැගෙන පහළට පැමිණීමෙන් ඔහු තුළ විශාල මනුස්සකමක් දැකගත හැකි වූ බවද රාජපක්ෂ මහතා කීය.
අලුයම හතර වනවිට සියලු තුවාලකරුවන් උඩට ගැනීමට හැකි වූ බවත්, ඔවුන්ගේ සුෂුම්නාවට හානි නොවන අයුරින් ආරක්ෂා කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් වූ බවත් ඔහු පැවසීය. මෙහෙයුම අවසානයේ, ප්‍රපාතයෙන් ඉහළට ඒමේදී සෙරෙප්පු නොතිබූ තමාට හමුදා සෙබළෙකු තම සපත්තු යුගළය ගලවා දුන් බව සිහිපත් කරමින්, මෙම මෙහෙයුමේදී හමුදා, ගුවන් හමුදා, පොලිස් සහ සිවිල් ජනතාව ඇතුළු සිය ගණනක් දෙනාගේ අනෝන්‍ය අවබෝධය සහ මානව දයාව කැපී පෙනුණු බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval