
කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පීඨයේ සිසුන් තිදෙනෙකුට පසුගියදා (6) අලුයම් කාලයේදී පහරදී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පස්නමක් හඳුනාගෙන ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය පවසයි.
පහරදීමෙන් බරපතළ තත්ත්වයට පත් වූ සිසුන් දෙදෙනෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් සිසුවා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම සිසුන්ට පහරදුන් බවට සැක කෙරෙන භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පොලීසිය සඳහන් කරන්නේ පසුගිය 4 වනදා රාත්‍රී කාලයේදී භික්ෂුන් වහන්සේලා කිහිප නමක් කොට කලිසම් සහ ටී-ෂර්ට් ඇඳගෙන විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරූ බවයි. එම ඇඳුම් විලාසිතාව නුසුදුසු බවට සිසුන් පිරිසක් පැහැදිලි කිරීමේදී දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් හටගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව, අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයට පැමිණි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් කලින් ඇති වූ බහින්බස් වීමට සම්බන්ධ සිසුන් තිදෙනෙකු ඇදගෙන ගොස් පහරදී ඇති බව පොලීසිය කියයි. පහරදීමෙන් තුවාල ලැබූ සිසුන්ගේ හිසට සහ ශරීරය පුරා තැලීම් තුවාල ඇති බව වාර්තා වේ. මෙම සිසුන් තිදෙනා මුලින් කිරිබත්ගොඩ රෝහලටත්, පසුව රාගම රෝහලටත් ඇතුළත් කර තිබේ. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval