ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී පුද්ගලයන් දහසය දෙනෙකුට මරු කැඳවමින් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමේ සිද්ධියට අදාළ විමර්ශනවලට නව තොරතුරක් එක්වී තිබේ. අනතුරට පෙර බස් රථය ගැටුණු රුපියල් ලක්ෂ 880ක් වටිනා සුඛෝපභෝගී ජීප් රථයේ සවිකර ඇති කැමරා පද්ධතියේ දර්ශන පටිගත කිරීමේ පහසුකමක් නොමැති බව එම රේන්ජ් රෝවර් රථයේ මෙරට අලෙවි නියෝජිත සමාගම විසින් ඇල්ල පොලීසියට ලිඛිතව දැනුම් දී ඇත.
අනතුර සිදුවූ ආකාරය පිළිබඳව තීරණාත්මක සාක්ෂි රැසක් අනාවරණය කර ගැනීමේ අරමුණින්, පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගනිමින් මෙම ජීප් රථයේ කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කිරීමට අපේක්ෂා කර තිබුණි. එහෙත්, අලෙවි සමාගම පෙන්වා දී ඇත්තේ අදාළ රථයේ ඇති සජීවී කැමරා හතර, රියදුරුගේ පහසුව සඳහා පමණක් ක්‍රියාත්මක වන ඒවා බවයි.ඒවා මගින් වාහනය පැදවීමට අවශ්‍ය සජීවී රූප ලබාදුන්නත් පටිගතවීමක් නොවන බව තාක්ෂණිකව පැහැදිලි කර ඇත.
එම සමාගමට අනුව, මෙම වර්ගයේ සුඛෝපභෝගී රථවල දර්ශන පටිගත කිරීමේ මෘදුකාංගය ස්ථාපනය කරනු ලබන්නේ වාහන හිමිකරු විසින් කරනු ලබන විශේෂ ඉල්ලීමකට අනුව පමණි. මෙම ජීප් රථයේ හිමිකරු එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවත්, බොහෝ පාරිභෝගිකයන් මෙම පහසුකම ඉල්ලා නොසිටින බවත් සමාගම වැඩිදුරටත් පොලීසියට දන්වා තිබේ.
මේ අතර, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා විසින් රුපියල් කෝටි 8ක බැඳුම්කරයක් මත මෙම ජීප් රථය එහි ලියාපදිංචි හිමිකරු වෙත මුදා හැරීමට නියෝග කර ඇත. විමර්ශන අවසන් වන තෙක් වාහනය විකිණීම, එහි හිමිකාරීත්වය පැවරීම හෝ වර්ණය වෙනස් කිරීම සපුරා තහනම් කරමින් හිමිකරුට දැඩි කොන්දේසි පනවා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval