japan-is-cautious-in-carrying-out-projects-in-this-country-after-gota-cancelled-the-monorail

 ශ්‍රී ලංකාවේ සැහැල්ලු දුම්රිය ගමනාගමන ව්‍යාපෘතිය ඇතුළුව ජපානයේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත ඕනෑම නව ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා රජය සමඟ සිදුකරන සාකච්ඡා සහ ගැඹුරු විමසා බැලීමකින් අනතුරුව බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් තානාපති කාර්යාලය මේ බව සඳහන් කළේය.





යෝජිත ව්‍යාපෘතියකට අනුමැතිය දීමේදී එහි ප්‍රමුඛතාව පමණක් නොව, දැනටමත් ජපන් මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපෘතිවල ප්‍රගතිය, යෝජනාවේ ශක්‍යතාව මෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික හා මූල්‍යමය තත්ත්වය වැනි කරුණු රැසක් කෙරෙහි ජපාන රජය විශේෂ අවධානයක් යොමු කරන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කළේය.

ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති එකොළහක් යළි ආරම්භ කිරීම සඳහා ජපාන රජය විසින් අවශ්‍ය අරමුදල් නිදහස් කර ඇති බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි. ඒ අනුව, මෙම වසර තුළදී එම ව්‍යාපෘති අතුරින් තුනක වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නිමවා ඒ සඳහා වන ගෙවීම් ද සිදුකර අවසන් බව සඳහන් වේ. ඊට අමතරව, ජපන් මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘති අටක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ද ජපාන රජය විසින් කැපීපෙනෙන දායකත්වයක් ලබා දී තිබිණි. අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, 2021 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවලංගු කරන ලදී.