the-argument-escalated-and-the-student-punched-another-student-in-the-ear

 පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් 13 හැවිරිදි සිසුවෙකුගේ කන පැළෙන සේ පහරදුන් 14 හැවිරිදි සිසුවෙකු ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීමෙන් පහරකෑමට ලක්ව ඇත්තේ ඉංගිරිය රෝහල ආසන්නයේ පදිංචි සිසුවෙකු වන අතර, පහරදුන් බව කියන සිසුවා ඉංගිරිය, අක්කර 20 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



පොලීසිය පවසන පරිදි, අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ සුළු ආරවුලක් මෙම සිදුවීමට මුල්වී ඇත. ඉන් එක් සිසුවෙකු,

නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම මිතුරෙකුට සිද්ධිය පැවසීමෙන් අනතුරුව, එම නවවැනි ශ්‍රේණියේ සිසුවා පැමිණ අනෙක් අටවැනි ශ්‍රේණියේ සිසුවාගේ කනට පහරක් එල්ල කර තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද සමඟ ඉංගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.එන්.ඩී. කොල්ලුරේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහුව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඉදිරියේදී හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.