family-members-lock-doctors-and-staff-in-ward-after-cancer-patient-dies

නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිළිකා රෝගියෙකු මියයාමෙන් අනතුරුව, රෝගියාගේ ඥාතීන් පිරිසක් විසින් වාට්ටුවේ සේවයේ නිරතව සිටි වෛද්‍යවරයෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් පැයකට ආසන්න කාලයක් සිරකරගෙන මරණීය තර්ජන එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා වේ.





කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම රෝගියා පසුගිය 18 වන දා රාත්‍රියේ මියගොස් ඇති අතර, ඉන් අනතුරුව ඥාතීන් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 19 වන දා අලුයම 2.00ට පමණ රෝහලේ 16 වන වාට්ටුවට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම කලහකාරී තත්ත්වය ඇතිකර තිබේ. ඔවුන් විසින් වාට්ටුවේ වෛද්‍යවරයා, පිරිමි සහ කාන්තා හෙදියන් දෙදෙනෙකු සහ සහායක සේවිකාවක් මෙලෙස රඳවාගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කාලය තුළ කාර්ය මණ්ඩලයට වාට්ටුවෙන් පිටවීමට, දුරකථන ඇමතුමක් ගැනීමට හෝ ඉඩ නොදී දැඩි ලෙස තර්ජනය කර ඇති අතර, එම අවස්ථාවේ වාට්ටුවේ සිටි අනෙකුත් රෝගීන් ද මෙම සිදුවීමෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇත. මියගිය රෝගියා කොළඹ රෝහලකට මාරුකර යැවීම සඳහා ගිලන් රථයක් ඉල්ලා සිටීමේ සිද්ධියක් මුල් කරගෙන මීට පෙර දිනයේදී ද දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් සිදුව තිබූ බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා විසින් කළුතර දකුණ පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව මූලස්ථාන පොලීසිය පවසයි.