
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් 15 වැනිදා යළි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
සැප්තැම්බර් 22 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා, ඔහුව ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළේය. මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සහ රුපියල් අසූ අට ලක්ෂ 50,000ක වන්දියක් ලබා ගැනීම තුළින් දූෂණ වංචා සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාද ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහාධිකරණය නියෝග කර තිබේ. අධිකරණය මගින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, ඔහු විසින් ගොනු කර තිබූ අපේක්ෂිත ඇප නියෝගය ලබාදීමද සැප්තැම්බර් 30 දක්වා කල් දමා ඇත.

