suspects-flee-as-7-drug-houses-belonging-to-bako-saman-and-tambari-lahiru-are-raided

 ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයින් ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ නැමැත්තන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී දකුණු පළාතේ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය මගින් මෙම තොරතුරු හෙළිකරගෙන ඇති අතර, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.



විදෙස්ගතව සිටි පාතාල සාමාජිකයින් වන ‘කෙසෙල්බද්දර පද්ම’, ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’එහි සිටියදී ලබාදුන්  දුරකථන උපදෙස් මත මෙම සැකකාර පුද්ගලයින් හත්දෙනා මෙරට තුළ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ජාවාරම් මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි සැකකරුවන්ගේ නිවාස හතක් වටලනු ලැබීය. කෙසේ වෙතත්,

පොලිසිය එම ස්ථානවලට ළඟා වන විටත් සැකකරුවන් සිය පවුල්වල සාමාජිකයින් ද සමඟ නිවෙස් අතහැර පළාගොස් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් සොයා දකුණු පළාතේ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.