ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව, රුහුණ සහ සබරගමුව යන විශ්වවිද්‍යාලවල සේවය කළ ආචාර්යවරුන් 25 දෙනෙකු සිය බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම හේතුවෙන් අය කරගත යුතු රුපියල් කෝටි 14කට ආසන්න මුදලක් මෙතෙක් අයකරගෙන නොමැති බව හෙළිදරව් වී තිබේ.
මෙම ආචාර්යවරුන්ගෙන් දහතුන් දෙනෙකු සබරගමු විශ්වවිද්‍යාලයට අයත් වන අතර, ඔවුන් විසින් ගෙවිය යුතු මුදල රුපියල් 92,299,644 කි.
රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දොළොස් දෙනෙකු විසින් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් 49,611,498 ක් ලෙස විගණන වාර්තාවේ දැක්වේ. විශේෂයෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයට අදාළ මෙම මුදල් 2006, 2008 සහ 2018 වැනි වසරවලදී ගිවිසුම් කඩකළ ආචාර්යවරුන්ගෙන් අයවිය යුතුව පවතී.
තවද, වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා විදෙස්ගත වූ නිලධාරීන් පස් දෙනෙකු සහ දේශීයව අධ්‍යයන නිවාඩු ලබාගත් තිදෙනෙකු නියමිත කාලය තුළ සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ නොකර නැවත සේවයට වාර්තා කිරීම හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයට රුපියල් 66,600,000 කට අධික මුදලක් අය කර ගැනීමට තිබුණ ද,
පසුගිය වසරේ අප්‍රේල් මස වනවිටත් එය ඉටුකර නොතිබූ බව අනාවරණය වේ.
මෙම හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය විසින් අදාළ විශ්වවිද්‍යාල බලධාරීන්ට නිර්දේශ කර ඇත. මේ පිළිබඳව විමසීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.
Comments
Post a Comment
Your comment will be visible after approval