gang-caught-laundering-bank-accounts-under-the-guise-of-french-dreams

 ප්‍රංශයට යවන බවට පොරොන්දු වෙමින් උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල මුදල් සොරකම් කළ ජාවාරම්කරුවන් පිරිසක් කොටුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, සරසවි සිසුවෙකු සහ කාන්තාවක් ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම කල්ලිය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ප්‍රංශයට යාමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් ඉලක්ක කරගෙන මෙම වංචාව සිදු කර ඇත. ඒ අනුව, ඔවුන්ගේ බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කිරීමෙන් පසු සියලු ලිපි ලේඛන සහ බැංකු ගිණුම් පොත් රැගෙන රාත්‍රී 7ත් 8ත් අතර කාලයේ කොටුව පාලම අසලට පැමිණෙන ලෙසට ඔවුන්ට දන්වා ඇත. එහිදී ඒජන්සි කළමනාකරුවෙකු ලෙස පෙනී සිටිමින් ලිපි ලේඛන පරීක්ෂා කරන බව පවසා ඇත.



ඉන්පසු විශ්ව විද්‍යාල සිසුවා ලවා එම සියලු තොරතුරු සහ බැංකු රහස් තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරගෙන, ක්ෂණිකව අන්තර්ජාල බැංකු සේවා මඟින් එම මුදල් වෙනත් ගිණුම්වලට මාරු කර ඇති බව පොලිසිය පවසයි.

මේ ආකාරයට තලංගමදී රුපියල් ලක්ෂ 50ක්, කොළඹ පිටකොටුවේදී රුපියල් ලක්ෂ 75ක්, සහ කොටුව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 66කට අධික මුදලක් සහ තවත් රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් මේ කල්ලිය විසින් කොල්ලකා ඇති බවට හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සරසවි සිසුවා මාලඹේ තාක්ෂණ විශ්ව විද්‍යාලයක පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරන අයෙකි.