
මුහුණුපොත හරහා දැන්වීමක් පළ කර ව්‍යාජ එන්ජින් සහ චැසි අංක සහිත ජීප් රථයක් විකුණා සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා ලැබූ අයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැරුණේ කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. කලිඳු ශෂ්මික ගීෂාන් නැමැත්තෙකි.
මහේස්ත්‍රාත්වරිය මෙම ඇප නියම කර ඇත්තේ, රුපියල් ලක්ෂ හතක් වටිනා එම ජීප් රථය සඳහා ලබාගත් මුදල අධිකරණයේදී පැමිණිලිකරුට ආපසු ලබා දීමට සැකකරු කටයුතු කිරීම සලකා බැලීමෙනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉබ්බාගමුව, ගණිමුල්ල ප්‍රදේශයේ පදිංචි ජී.ඒ. ජීවන්ත ඉන්දජිත් බණ්ඩාර නැමැත්තා විසින් කඩවත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පොලිස් වාර්තාවට අනුව, සැකකරු මුහුණුපොතේ පළ කළ දැන්වීමක් දැක පැමිණිලිකරු ඔහුගේ නිවසට ගොස් අදාළ ජීප් රථය මිල දී ගෙන ඇත. වාහනයේ ලියාපදිංචි සහතිකය පරීක්ෂා කිරීමේදී එහි එන්ජින් සහ චැසි අංක දෙකක් සටහන්ව තිබී ඇත. ඒ පිළිබඳව පැමිණිලිකරු විමසූ විට, මුලින්ම පෙට්‍රල් එන්ජිමක් තිබූ මෙම වාහනයට පසුව ඩීසල් එන්ජිමක් සවි කළ නිසා අංක දෙකක් සටහන් වී ඇති බවට සැකකරු පවසා තිබේ. කෙසේ වෙතත්, මෙය ව්‍යාජ අංක යොදා සිදුකළ වංචාවක් බව පසුව අනාවරණය වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval