සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් රංජන් හියාරේ ගමගේ නැමැත්තා, සිය බිරිඳගේ සහ දියණියගේ බැංකු ගිණුම් භාවිත කර කෝටි ගණනක මුදල් ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.
සැප්තැම්බර් 2 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අතර, එහිදී සැකකාර පොලිස් අධිකාරීවරයාගේ රක්ෂිත බන්ධනාගාර කාලය ලබන 8 වන දා දක්වා දීර්ඝ කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.විමර්ශනවලදී මීට පෙර හඳුනාගත් ගිණුම්වලට අමතරව, රුපියල් එක්කෝටි දසලක්ෂයකට අධික මුදලක් තැන්පත් කළ තවත් බැංකු ගිණුමක් සොයාගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය. එම මුදල් සැකකරුගේ රියැදුරු විසින් අවස්ථා 67කදී සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අවස්ථා 3කදී එම ගිණුමට බැර කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
සැකකරු විසින් මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට සෘජුව සහ වක්‍රව බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇති බවත්,
විමර්ශනයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු පසුගිය අගෝස්තු 4 වන දා අක්මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මුදා හැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවත් අල්ලස් කොමිසම අධිකරණයේ අවධානයට යොමු කළේය.
විමර්ශන අවසන් වී නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටි අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා චෝදනා ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය තත්ත්වය සලකා ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval