second-only-to-the-sugar-tax-fraud-onion-potato-tax-fraud

 සීනි බදු වංචාවට සමාන ආකාරයේ මහා පරිමාණ ලූනු සහ අර්තාපල් බදු වංචාවක් හරහා දේශීය ගොවියාට හිමිවිය යුතු ප්‍රතිලාභ අහිමි කරමින් ඔවුන් අනාථ කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. මින්නේරිය ඇලහැර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවේ වංචනික බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් සිය ලොකු ලූනු අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.





ලොකු ලූනු අක්කරයක් වගා කිරීම සඳහා ගොවියෙකුට රුපියල් ලක්ෂ පහක් හෝ හයක් වැනි ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන පසුබිමක, එම අස්වැන්න කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 200ක වත් සාධාරණ මිලක් අපේක්ෂා කළද, වර්තමානයේ ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 110-120 වැනි ඉතා අඩු මිලක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් රජය විසින් ආනයන බද්දක් පැනවූවද, එම බද්ද ක්‍රියාත්මක කිරීමට මොහොතකට පෙර මහා පරිමාණ ලූනු තොග මෙරටට ගෙන්වා ගබඩා කිරීමට ඉඩ සලසා ඇති බවද ඔහු හෙළිදරව් කළේය.

මෙම ක්‍රියාවලිය කුප්‍රකට සීනි බදු වංචාවට නොදෙවැනි බව අවධාරණය කළ ප්‍රේමදාස මහතා, බදු පැනවීමේදී නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙකුට සිය තනතුරෙන් පවා ඉල්ලා අස්වීමට සිදුවූ බව සිහිපත් කළේය.

මෙවැනි දූෂිත ක්‍රියා සිදුකරන ආණ්ඩුව, ගොවියාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වීරයන් සේ කතා කිරීම විහිළුවක් බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත වී ඇති නිසා ලොකු ලූනු, වී හෝ අර්තාපල් වගා කරන ගොවියාගේ සැබෑ ගැටලු හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. බදු පැනවිය යුතු නියමිත වේලාවට එසේ නොකිරීම වැනි අදක්ෂ තීන්දු නිසා අද වන විට ගොවි ජනතාව විපතට පත්ව ඇති අතර, එක පෑන් පහරින් සියලු ප්‍රශ්න විසඳන බවට දුන් පොරොන්දු කිසිවක් ඉටු වී නොමැති බවද ඔහු කියා සිටියේය. රුපියල් පන්දහසේ පොහොර මිටිය ප්‍රතික්ෂේප කරමින් මාලිමාවට ඡන්දය ලබාදුන් ගොවීන් පවා, පොරොන්දු වූ පොහොර සහනාධාරයවත් නිසියාකාරව නොලැබීමෙන් අද වන විට අතරමං වී ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.