shashindra-remanded-again

 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන ඔක්තෝබර් මස 14 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.





කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

මීට අමතරව, සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට බන්ධනාගාර රෝහලේදී මෙන්ම අනෙකුත් රෝහල්වලදී ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක්ද නිකුත් කර ඇත.

දෙදහස් විසි දෙකේ මැයි මස 09 වන දින පැවති අරගලය අතරතුර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළවලට හානි සිදුවී තිබිණි. එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී,

සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තම නිල බලය යොදවා හානිපූර්ණය සඳහා වූ කාර්යාලයේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 8,850,000 ක වන්දියක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ. මෙම ක්‍රියාව තුළින් දූෂණය නැමැති වරද මෙන්ම, මහවැලි අධිකාරියට අයත් දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ද වරදක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.