
වසර එකොළහකට ඉහතදී, සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවියකව සිය වෑන් රථය තුළදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 68 හැවිරිදි පාසල් වෑන් රථ රියදුරෙකුට වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් නියම කරන ලදී. එකල සමාජයේ දැඩි කතාබහට ලක්වූ මෙම නඩුවේ තීන්දුව ඊයේ (18) ප්‍රකාශයට පත් කෙරිණි.
නියම කරන ලද සිර දඬුවමට අමතරව, විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් මෙන්ම වින්දිත දැරිය වෙත රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසටද අධිකරණය නියෝග කළේය. එම දඩ සහ වන්දි මුදල් ගෙවීම පැහැර හරින්නේ නම්, ඒ වෙනුවට අමතර සිර දඬුවම් නියම කිරීමටද තීන්දු විය. මෙලෙස දඬුවම් නියම වූයේ, කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක දරුවන් ප්‍රවාහනය කළ, එක් දරු පියෙකු වන වෑන් රථ රියදුරෙකුටය.
නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 345 සහ 365 (අ) වගන්ති යටතේ අධිචෝදනා ද්විත්වයක් ගොනුකර තිබිණි. පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව එම චෝදනා ඔප්පු කර ඇති බවට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරු එම චෝදනා දෙකටම වරදකරු කළේය. දඬුවම් නියම කිරීමේදී, අදාළ චෝදනාවන් සඳහා නියම කළ හැකි උපරිම දඬුවම ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, මෙම චූදිතයා සමස්ත මනුෂ්‍ය සංහතියටම නිගාවක් බවයි. දරුවන්ගේ භාරකරු ලෙස කටයුතු කරමින් සිටියදී විත්තිකරු විසින් මෙම අපරාධය සිදු කිරීම ඉතා බරපතළ කරුණක් බවද ඔහු අවධාරණය කළේය. බාලවයස්කාර දරුවන් සිටින දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිලිමත් වන්නේ නම් දරුවන්ට එරෙහිව සිදුවන මෙවැනි අපරාධ බොහොමයක් වළක්වා ගත හැකි බවද විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.
නඩු විභාගය අතරතුර සාක්ෂි ලබාදුන් වින්දිත දැරියගේ මව, තම දියණිය වසර දෙකකට ආසන්න කාලයක් චූදිතගේ වෑන් රථයෙන් ගමන් කළ බව ප්‍රකාශ කළාය. චූදිතයා තම නිවස ආසන්නයේම පදිංචිව සිටි බවත්, දෙපාර්ශ්වය අතර පැවති හිතවත්කම නිසා ඔහු අතින් මෙවැනි අපරාධයක් තම දියණියට සිදුවේ යැයි කිසිසේත්ම නොසිතූ බවත් ඇය අධිකරණය හමුවේ කියා සිටියාය. තම දියණියට අතවරයක් සිදුවී ඇති බවට
ඇයගේ මිතුරියකගේ මවකගෙන් ලද තොරතුරක් මත ඒ පිළිබඳව විමසීමට සූදානම් වූ බවත්, එවිට දියණිය හඬමින් සම්පූර්ණ සිදුවීම හෙළි කළ බවත් මවගේ සාක්ෂියේ සඳහන් විය.
"අම්මලා ඒ ගැන ඇහුවොත් ඒ අංකල් මාව මරයි කියලා බය හිතුණා, ඒකයි මම කිව්වේ නැත්තේ," යනුවෙන් තම දියණිය පැවසූ බව වින්දිත දැරියගේ මව අධිකරණයට දන්වා සිටියාය. සිදුවීම දැනගත් පසු තමා විත්තිකරුගෙන් ඒ පිළිබඳව විමසූ විට, ඔහු මුලින් චෝදනාව ප්‍රතික්ෂේප කරමින් "පාසල් වෑන් රථයේ යන දරුවන් මට ආදරෙයි" යැයි පැවසූවද, පසුව වරද පිළිගත් බව ඇය සඳහන් කළාය. පොලීසියට පැමිණිලි කරන බව දැන්වූ විට "වඳින්නම් ගෙදරට කියන්න එපා" යැයි විත්තිකරු ඉල්ලා සිටි බවද මවගේ සාක්ෂියේ සඳහන් විය.
මෙම සිදුවීම හෙළිවී ඇත්තේ, පාසලේ පැවති ක්‍රීඩා තරගයක් අතරතුර වින්දිත දැරිය තවත් යෙහෙළියකට ඒ බව පැවසීමත් සමඟය. තමාටද එම රියදුරුගෙන් එවැනිම අතවර සිදුවූ බව එම යෙහෙළියද එහිදී පවසා ඇත. පසුව එම පුවත පන්තියේ අනෙකුත් සිසුන් අතර පැතිර යෑමෙන් අනතුරුව, තවත් සිසුවියන් කිහිප දෙනෙකුම මෙම අපයෝජනයට ලක්වී ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ නමුත්, පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ වින්දිත දැරියගේ මව පමණක් වන අතර, ඇයගේ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් චූදිතයා නීතිය හමුවේ දඬුවම් ලැබීමට ලක්විය.
අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර, පොලිස් කොස්තාපල් එම්.එම්.එස්. ලක්ෂාන් (84742) විසින් නඩුවට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval