නවතම වාර්තා අනුව, පසුගිය 4 වනදා ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී සිදුවූ දරුණු බස් අනතුරට හේතුව බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 18 දෙනෙකු තුවාල ලැබූහ.
පරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන්නේ බසයේ ගියර් පෙට්ටිය ගලවා පරීක්ෂා කිරීමේදී රියදුරු විසින් අධික බෑවුමකදී බසය හතරවන ගියරයේ ධාවනය කර ඇති බවයි. තවද, අනතුරට පත් බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් දීර්ඝ කාලයක සිට පැවති බවටද මෙම පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මෙම විනෝද චාරිකා බස් රථය තංගල්ල නගර සභා සේවක පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් නුවරඑළිය සංචාරයකින් පසු නැවත තංගල්ල බලා පැමිණෙමින් සිටියදී ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්විය.
බස් අනතුරට අදාළව බස් රථයේ හිමිකරු ඊයේ (09) ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරට ලක්වූ බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර මේ වනවිට ඔහු ඇප මත නිදහස් කර ඇත.
මේ අතර, අනතුරට පත් බස් රථය තවත් පුද්ගලයෙකුට විකුණා තිබූ බවටද තොරතුරු ලැබී ඇත.
අනතුර සිදුවූ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසල අද රාත්‍රියේ (10) පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අනතුරින් ජීවිත අහිමිවූවන්ට පින් පැමිණවීම පිණිස සංවිධානය කර ඇති මෙම පිරිත් සජ්ඣායනය සඳහා එම ස්ථානය සූදානම් කර ඇති බව වාර්තා වේ. පිරිත් සජ්ඣායනයෙන් පසු දින සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval