
වවුනියාවේ, පුවරසන්කුලම් ප්‍රදේශයේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී, සේවය හැර ගිය පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු පෙරේදා (08) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 30ක් පමණ වන මෙම පුද්ගලයා ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නවතා පරීක්ෂා කර තිබේ.
එහිදී, තමා පොලිස් නිලධාරියෙකු බව පවසමින් ඔහු පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇත. ඒ පිළිබඳ සැක සිතූ පොලීසිය, ඔහු සේවය කරන ස්ථානය ගැන විමසීමේදී පිළිතුරු වලින් සෑහීමකට පත් නොවීය.
පොලිස් නිලධාරීන් ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා පරීක්ෂා කිරීමේදී, පොලිස් හැඳුනුම්පතේ සඳහන් නම, ජාතික හැඳුනුම්පතේ හා රියදුරු බලපත්‍රයේ නම සමඟ නොගැලපෙන බව හෙළි විය.
එහිදී, ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, මෙම හැඳුනුම්පත ඔහුගේ මිතුරෙකු වන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබා දුන් බව පවසා ඇත. පරීක්ෂා කිරීමකදී බිය නොවී සිටීම සඳහා හැඳුනුම්පත භාවිත කරන ලෙස ඔහුගේ මිතුරා උපදෙස් දී ඇති බවද ඔහු පවසා තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පවසා ඇත්තේ ඔහු වවුනියාවට පැමිණියේ නිවසක් වයරින් කිරීමේ කටයුත්තක් සඳහා බවයි. කෙසේ නමුත්, ඔහු වෙනත් නීති විරෝධී කටයුත්තකට පැමිණ ඇතිදැයි සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. හැඳුනුම්පත හිමි පොලිස් නිලධාරියාද ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අවසන් වරට සේවය කර ඇත්තේ පොලිස් මූලස්ථානයේය. ඔහුට සේවය අතහැර යාමට නියෝග නිකුත් කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ සේවය කරමින් සිටියදීය. එම නිලධාරියා මේ වන විට ඔහුගේ නිවසේ නොමැති බැවින් ඔහු පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval