piyal-manamperi-of-pohottuwa-is-in-custody-sampath-manamperi-is-hiding

'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' යන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව, පොලිස් නිල ඇඳුම් හා උපකරණ රැසක් මිද්දෙණියේ සම්පත් මනම්පේරි හා පියල් මනම්පේරි යන සොයුරන්ගේ නිවසකින් සොයා ගැනීමට හැකි වී තිබේ. මෙම භාණ්ඩ අපරාධකරුවන් සතුව තිබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ඊයේ (09) ආරම්භ වී ඇත.



පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් විසින් මෙම භාණ්ඩ සොයාගෙන ඇත්තේ, මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වළ දමා තිබූ මිද්දෙණියේ තලාව ප්‍රදේශයේ ඉඩමක පිහිටි නිවසක තිබීයදීය.

මෙම නිවස පරීක්ෂා කිරීමේදී, එහි සිටි 82 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

එම නිවසෙන් සොයාගත් භාණ්ඩ අතර, පොලිස් ලාංඡන සහිත ටී ෂර්ට් 3ක්, බොටම් 2ක්, පොලිස් නිල ඇඳුම් මැසීමට ගන්නා රෙදි, බැටන් පොලු 2ක්, හම් ඉණ පටි 2ක්, කැලෑ ඉණ පටි 4ක්, ටී-56 අවියට යොදන පටියක්, බැටන් පොලු රඳවනයක්, ශීට් 3ක්, බෝර 2 වර්ගයේ ගිනි අවියක බැරලයක කොටසක්, දේශීයව නිෂ්පාදිත ටී-56 පතරොම් යෙදිය හැකි ගිනි අවියක් සහ බෝර 2 වර්ගයේ අවියක ක්‍රියාකාරී කොටසක් හා එහි බැරලයක් ද වේ.



මීට අමතරව, එම ඉඩමේ සඟවා තිබූ යතුරුපැදියක අංක තහඩු යුගලයක් සහ කාර් රථයක අංක තහඩු යුගලයක්ද සොයා ගෙන තිබේ. මෙම භාණ්ඩ මෙම නිවසේ තබා ගෙන සිටියේ කුමන අරමුණක් සඳහා දැයි සොයා බැලීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි, විමර්ශන නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (09) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.