rajitha-released-on-bail-keheliyas-magistrates-case-finalised-remaining-cases-in-high-court

 අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරෙනු ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළ අතර, සේනාරත්න මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද නියම කළේය. අල්ලස් කොමිසමේ සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දෙන ලදී.



මේ අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කෙරිණි. අල්ලස් කොමිසම විසින් ඔවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව දැනුම් දීමෙන් පසුව මෙම තීන්දුව ගෙන තිබේ. ඒ අනුව, විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රඹුක්වැල්ල මහතා,

ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු සහ වාහන අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මොවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැරීමට ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.