man-who-squeezed-beauty-student-on-120-bus-appears-in-court

හොරණ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ 120 පෞද්ගලික බස් රථයකදී විශ්වවිද්‍යාල සිසුවියකට ලිංගික හිංසාවක් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් මස 1 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.



මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ. පොලීසිය අධිකරණයට දන්වා ඇත්තේ පැමිණිලිකාරිය 27 හැවිරිදි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක බවයි.



ඇය හොරණ සිට කොළඹ බස් රථයක ගමන් කරමින් සිටියදී, පිටුපස අසුනේ සිටි සැකකරු ඇයගේ සිරුරේ පසුපස කොටස කිහිප වරක් මිරිකා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියෙන් අපහසුතාවට පත් ශිෂ්‍යාව හඬනඟා විරෝධය දැක්වූ අවස්ථාවේ, සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියකු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසියට භාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, වීරකැටිය ප්‍රදේශයේ පදිංචි කපිල ප්‍රසාද් ප්‍රේමචන්ද්‍ර නැමැති සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.