signs-that-sajith-will-join-the-unp-anniversary-on-the-20th

 එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය (සජබ) ඇතුළු අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ විවෘතව දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, මෙම පක්ෂ සමඟ දැනටමත් පවත්වා ඇති මූලික සාකච්ඡා මත අඛණ්ඩව ඉදිරියටත් සාකච්ඡා පවත්වාගෙන යන බවයි.



මෙම සාකච්ඡා සඳහා පක්ෂයේ ප්‍රධානීන් කිහිපදෙනකුගෙන් සමන්විත කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් යොදා ගන්නා බවද ඔහු පැවසීය. පොදු කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විපක්ෂය සමඟ එක්ව ක්‍රියා කිරීම අඛණ්ඩව කරගෙන යන ලෙසට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම ලබන 20 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. හිටපු ජනාධිපති සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ. සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම උත්සවය, වික්‍රමසිංහ මහතාගේ අසනීප තත්ත්වය හේතුවෙන් කල් දමන ලදී. මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බැවින්, පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර මෙම නව දිනය තීරණය කර ඇත.
මෙම අවස්ථාවට සජබ නායකයින් කැඳවීමේ සූදානමක්ද ඒ මගින් පක්ෂ දෙක අතර සමගිය රටට පෙන්වීමේ උත්සාහයක්ද පවතින බව දේශපාලන ආරංචි හෙළි කර ඇත.