රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ දිවයිනේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරමින්, මරදාන දුම්රිය ස්ථානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ආරම්භ විය.
"පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්" රජයේ වැඩපිළිවෙළට සමගාමීව, තිරසාර සහ ප්‍රමිතිගත පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙහිදී දුම්රිය ස්ථානවල පොදු පහසුකම් වැඩිදියුණු කර, ඒවා මගීන්ට සුවපහසු සහ ආරක්ෂිත ස්ථාන බවට පත්කිරීමට අපේක්ෂිතය. ඓතිහාසික වටිනාකමකින් යුත් මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන අයුරින් නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිතය.
සමරු ඵලකය නිරාවරණය කර ව්‍යාපෘතිය ආරම්භ කළ ජනාධිපතිවරයා, අනතුරුව දුම්රිය ස්ථානයේ පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවටම අනන්‍ය වූ 'රුහුණු කුමාරි' නම් නව සිංහල පරිගණක අක්ෂරය (font) හඳුන්වා දීමද විශේෂ සිදුවීමක් විය.
උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, අතීතයේදී දුම්රිය සේවාව නොසලකා හැරීම සහ පැරණි දේශපාලන සංස්කෘතිය ගුණාත්මක සේවාවක් ගොඩනැඟීමට බාධාවක් වූ බවයි. මෙම නව වැඩසටහන දුම්රිය වෘත්තීය සමිති, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ කරගත් සාමූහික ප්‍රයත්නයක් බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval