a-firearm-and-30-bullets-were-found-at-the-bottom-of-the-mahaweli-vienna-canal

මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළේ පතුලේ සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30ක් මහියංගණය පොලීසිය විසින් පෙරේදා (14) සොයාගෙන තිබේ.



මහවැලි වියානා ඇළේ ජලය මුදාහැරීම තාවකාලිකව නතර කිරීම හේතුවෙන් නිරාවරණය වූ ඇළ පතුලේ තිබූ පාර්සලයක් පිළිබඳව ප්‍රදේශවාසී පුද්ගලයකු විසින් පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. පොලීසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ තොගය හමුවී තිබේ.



පොලීසිය පැවසුවේ, සොයාගත් ආයුධ අතර ජර්මනියේ නිෂ්පාදිත කුඩා ගිනි අවියක්, බෝර 12 වර්ගයේ පතොරම් 11ක්, ටී.56 උණ්ඩ 05ක්, මිලිමීටර් 09 උණ්ඩ 07ක් සහ රිවෝල්වර් උණ්ඩ 07ක් වූ බවයි.

මෙම ගිනි අවිය සහ උණ්ඩ තොගය කවුරුන් විසින් ඇළට ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහියංගණය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. එම්. සිසිර බණ්ඩාර හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.