britain-supports-sri-lanka-in-strengthening-tax-crime-investigations

ශ්‍රී ලංකාවේ බදු අපරාධ විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින්, එක්සත් රාජධානියේ ආදායම් අධිකාරියේ (HMRC) විශේෂඥ සහාය ඇතිව නව වැඩසටහනක් ඊයේ (15) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේදී ආරම්භ කෙරිණි.



'දේශසීමාවලින් තොර බදු පරීක්ෂකයන්' (Tax Inspectors Without Borders for Criminal Investigation) ලෙස නම් කර ඇති මෙම වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ (OECD) අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වේ. ඉදිරි මාස 18ත් 24ත් අතර කාලය තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩසටහන හරහා සංකීර්ණ බදු අපරාධ විමර්ශනය කිරීම සහ ඊට අදාළ නඩු කටයුතු විසඳීම සඳහා තාක්ෂණික සහය ලබා දීමට නියමිත බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.



දේශීය ආදායම් නව පනත යටතේ බදු පැහැර හැරීම අපරාධමය වරදක් ලෙස සලකන බැවින්, බදු පැහැර හරින්නන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පැවසීය.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් මහතා, මෙම වැඩසටහන මෙරට බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.