gossiplanka image 1

 තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයන් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය පිළිබඳ සැබෑ තොරතුරු මේවනවිට ආරංචිවී තිබේ. මුලින් තාප්පය ඉදිකළ බාස්ලා මෙලෙස මියගොස් ඇති බවටත් මෙම ජාවාරමේ මූලිකයින් වෙනත් අය වියහැකි බවටත් සිතා සිටි නමුත් පොලිසිය තොරතුරු රැස්කරගෙන ඇති

ආකාරයට මියගිය අයද ජාවාරමට සෘජු ලෙස සම්බන්ධව සිටි අයයි. එසේම මෙම හදිසි මියයාම් බලන්නට මුලින් රෝහල්ගත කළ අයගේ පුතුන් පැමිණ මිනී නිවසේ ලොරිය ඉවත්කරන්න යද්දී ගම්මු සමග නිවසේ කලබලයක් ඇතිකරගෙන තිබීම නිසා මෙම සංසිද්ධියට අහම්බෙන් පොලිසිය සම්බන්ධවී තිබේ. මුලින් මියගිය අයෙගේ පුතුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලදී අනාවරණය වූ පරිදි රුපියල් මිලියන 9,888ක් (කෝටි 988) වටිනා අතිදැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් මෙහිදී හසුව ඇත.

අත්අඩංගුවට ගත් පුතුන් දෙදෙනා ඇතුළුව සැකකරුවන් හය දෙනෙකු මේ වනවිට පොලිස් භාරයේ පසුවන අතර, ඔවුන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මියගිය තිදෙනාගේ මරණ පිළිබඳව ලද තොරතුරක් මත පොලීසිය එම නිවෙස පරීක්ෂා කිරීමේදී, එහි නවතා තිබූ ලොරි රථ දෙකක සහ කදුරුපොකුණ ප්‍රදේශයේ ගරාජයක තිබී තවත් ලොරි රථයක් සොයාගෙන ඇත. එම ලොරි රථ තුනේ රහසිගතව සකස්කළ කුටිවල සඟවා තිබූ අයිස් කිලෝග්‍රෑම් 420.976ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් ඇතුළු කිලෝග්‍රෑම් 705.91ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය සොයාගන්නා ලදී.

මත්ද්‍රව්‍ය වලට අමතරව එක් ලොරි රථයක පැණි කොමඩු තොගයක් අතර සඟවා තිබූ ටී-56 ගිනි අවියක් සහ නවීන පන්නයේ රිවෝල්වර පහක් ද පොලිස් භාරයට ගැනිණි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශයක සිටින "උණාකූරුවේ ශාන්ත" නමැත්තා විසින් මෙහෙයවනු ලබන්නක් බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

අභිරහස් ලෙස මියගොස් ඇත්තේ තංගල්ල, උණාකූරුව ප්‍රදේශයේ පදිංචි සුවඳ හැන්නදිගේ තුසිත් වෙනුර කුමාර (50) සහ අම්බලන්තොට, ලුණුම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ඊ. කවිඳු කල්හාර සහ දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන තිදෙනාය. රෝහල්ගත කිරීමෙන් පසු මියගිය තුසිත් වෙනුර කුමාර, "උණාකූරුවේ ශාන්ත" ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානියා බවට පොලීසිය හඳුනාගෙන ඇති අතර, සීනිමෝදර නිවෙස අසල තිබී සොයාගත් එක් ලොරි රථයක් ඔහුට අයත් එකක් බවටද තහවුරු වී තිබේ.



සේවය නිමවී සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙසට ගිය තුසිත් වෙනුර කුමාර, තමන්ට ගෑස්ට්‍රයිටීස් රෝගී තත්ත්වයක් හටගෙන ඇති බවට රාත්‍රියේ නිවෙසට දැනුම් දී ඇත. ඔහුගේ පුතෙකු විසින් ඔහුව පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී නැවත නිවසට රැගෙනවිත් ඇති අතර, එහිදී යළි අසාධ්‍ය වීම නිසා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.

පසුව, තුසිත් වෙනුර කුමාරට අයත් ලොරි රථය සීනිමෝදර නිවෙසින් වහා ඉවත්කර ගන්නා ලෙසට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ඔහුගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇත. එහිදී නිවෙස තුළ අනෙක් පුද්ගලයන් දෙදෙනා මියගොස් සිටිනු දැක ඇති අතර, එම ස්ථානයේ සිටි පිරිසක් ඔවුන්ට පහරදී පලවා හැර තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ පුතුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් තංගල්ල පොලිසියට පැමිණ සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත්වරියගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ස්ථානීය පරීක්ෂණ පවත්වා ඇති අතර, මරණවලට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව හෙළිවනු ඇත. තංගල්ල පොලීසිය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.



gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4