former-philippine-leader-accused-of-mass-killings-of-30000-in-the-name-of-an-anti-drug-operation

පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතිඥයින් විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා තුනක් ගොනු කර තිබේ. දැනටමත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) රැඳවුම් භාරයේ පසුවන 80 හැවිරිදි වියේ පසුවන මෙම හිටපු නායකයාට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වන්නේ, ඔහුගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ "මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය" නමින් හැඳින්වූ මෙහෙයුම අතරතුර සිදු වූ අවම වශයෙන් මිනීමැරුම් 76 කට සෘජුව සාක්ෂි සහිතව සම්බන්ධ වීමයි. 


මෙම මෙහෙයුමේදී 30000 ට වැඩි පිරිසක් සමූහ ඝාතන සිදුකර ඇතිබවට මානව මහිමිකම් සංවිධාන චෝදනා කර තිබේ.
මෙම අධිචෝදනා පත්‍රය ජූලි මස 04 වන දින ගොනු කර තිබුණද, එය මහජනයා වෙත නිකුත් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 22 වන සඳුදා දිනයේදීය.

හිටපු ජනාධිපති දුතර්තේට එල්ල වී ඇති චෝදනා තුන විමසා බැලීමේදී, පළමු චෝදනාව වන්නේ ඔහු දවාඕ නගරයේ නගරාධිපති ලෙස කටයුතු කළ 2013 සහ 2016 අතර කාලය තුළ සිදු වූ මිනීමැරුම් 19 කට සම-හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමයි.

දෙවන සහ තෙවන චෝදනා ඔහුගේ ජනාධිපති ධුර කාලයට අදාළ වේ. 2016 සහ 2017 අතර කාලයේදී "ඉහළ වටිනාකමකින් යුතු ඉලක්ක" ලෙස නම් කළ පුද්ගලයින් 14 දෙනෙකු ඝාතනය කිරීමට සහ 2016 සිට 2018 දක්වා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හෝ ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කළ මර්දනයේදී සිදු වූ තවත් මිනීමැරුම් 43 කට ඔහුගේ ඇති සම්බන්ධය එම චෝදනා මගින් පෙන්වා දී තිබේ.

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් නාමයෙන් දුතර්තේගේ නායකත්වය යටතේ සිදු වූ සමූහ ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පුළුල් පරීක්ෂණයක් පවත්වයි. දකුණු පිලිපීනයේ දවාඕ නගරයේ නගරාධිපතිවරයා ලෙසත්, පසුව ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කරමින් ඔහු මත්ද්‍රව්‍යවලට එරෙහිව අතිශය කුරිරු මර්දනයක් දියත් කළ බවට චෝදනා එල්ල වේ. මෙම මර්දනයේදී මියගිය සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු විවිධාකාරය. පිලිපීන ජාතික පොලිසිය මරණ 6,000 කට වඩා වාර්තා කරන අතර,

මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ එම සංඛ්‍යාව 30,000 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.

රොද්‍රිගෝ දුතර්තේ පසුගිය මාර්තු 11 වන දින මැනිලා නුවරදී අත්අඩංගුවට ගත් අතර, එදින රාත්‍රියේම ඔහුව නෙදර්ලන්තය වෙත ගෙන යන ලදී. එතැන් පටන් ඔහු ෂෙවෙනින්ගන් බන්ධනාගාරයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රැඳවුම් භාරයේ තබා ඇත.

මේ අතර, දුතර්තේගේ ආධාරකරුවන්, ඔහුව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දීම සම්බන්ධයෙන්, ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා වන වත්මන් පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර්ගේ රජය දැඩි ලෙස විවේචනය කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාග කළ යුත්තේ තම රට තුළ බවත්, මේ සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, දුතර්තේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, එය පැහැරගෙන යාමක් හා සමාන ක්‍රියාවක් බවත්ය.