
ඊසි-කෑෂ් තාක්ෂණය භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ තරුණ යුවළක් දින කිහිපයක නිරීක්ෂණයකින් අනතුරුව බුලත්සිංහල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාදුක්ක, ගොඩගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 25 හැවිරිදි සැමියා මෙසේ සැප්තැම්බර් 14 වන දා අත්අඩංගුවට ගත් බව පොලීසිය තහවුරු කළේය.
විදෙස්ගත පාතාල නායකයෙකු විසින් මෙහෙයවනු ලබන මෙම ජාවාරමේදී, ගැනුම්කරුවන් ඊසි-කෑෂ් ක්‍රමයට මුදල් ගෙවීමෙන් අනතුරුව සැකකාර යුවළ විසින් යතුරුපැදියක් සහ ලොරියක් යොදාගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇත. ඉංගිරිය, බුලත්සිංහල සහ බෝතලේගම වැනි ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම ජාවාරමේ විශේෂත්වය වී ඇත්තේ මත්ද්‍රව්‍ය කිසිවිටෙකත් ගැනුම්කරු අතට සෘජුව ලබා නොදීමයි. මුදල් ලැබුණු පසු, විදුලි කණුවක්,
පාලමක් හෝ සුසාන භූමියක් වැනි හුදෙකලා ස්ථානයක මත්ද්‍රව්‍ය තැන්පත් කර, එම ස්ථානය පිළිබඳව මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ ගැනුම්කරුට දැනුම් දීමට සැකකරුවන් කටයුතු කර ඇත.
බුලත්සිංහල පොලීසියට ලද තොරතුරකට අනුව දින කිහිපයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම වැටලීම සිදුකර තිබේ. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval