petition-against-appointment-of-bribery-commission-director-general-ranga-dissanayake-withdrawn

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාගේ පත්වීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම, පෙත්සම්කාර පාර්ශ්වය විසින්ම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කර ගනු ලැබීය.





උඩවලව සෝම විහාරාධිපති වේවැල්දූවඥානප්‍රභා ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, ඔවුන් ඉල්ලා තිබුණේ අදාළ පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයා වෙත කළ නිර්දේශය සහ එමගින් සිදුකළ පත්වීම බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී,

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන් අතර, අනතුරුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට පියවර ගන්නා ලදී.