ක්‍රිකට් ක්‍රීඩාවේ ලෙජන්ඩ් කෙනෙකු ලෙස සලකන විනිසුරුවරයෙකු වන එංගලන්තයේ ඩිකී බර්ඩ් මහතා අඟහරුවාදා දින අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 92 වන වියේ පසුවිය.
දශක දෙකකට අධික කාලයක් පුරා විහිදුණු සිය විනිසුරු දිවිය තුළදී, බර්ඩ් ටෙස්ට් තරග 66ක සහ එක්දින ජාත්‍යන්තර තරග 69ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබේ. පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු අවසන් මහා තරග තුනේම විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ඔහුගේ දිවියේ සුවිශේෂී සමත් කමකි.
යෝක්ෂයර් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ හා ජනප්‍රිය නිලධාරියා ලෙස සිය නාමය ඉතිහාසයට එක් කරමින් ඩිකී බර්ඩ් විශිෂ්ට ජාත්‍යන්තර විනිසුරු දිවියක් ගත කළ බවයි. ඔහුගේ අවංකභාවය, හාස්‍යය සහ සුවිශේෂී විලාසය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ ද ගෞරවාදරයට පාත්‍ර වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඔහු යෝක්ෂයර් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ ඉතා සමීපව කටයුතු කළ අතර, එහි වඩාත්ම ලැදි ආධාරකරුවෙකු ලෙස ද ප්‍රකට විය. 2014 වසරේදී, යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ඔහු පත් කරන ලද අතර, එම තනතුරේ ගෞරවය සහ අභිමානය රැකෙන පරිදි ඔහු කටයුතු කළේය.
ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස කීර්තියට පත්වීමට පෙර, ඩිකී බර්ඩ් එංගලන්තයේ යෝක්ෂයර් සහ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු සිය දේශීය ක්‍රිකට් දිවියේදී ප්‍රථම පෙළ තරග 93කට සහභාගී වී ලකුණු 3314ක් රැස් කර ඇති අතර, 1973 වසරේදී සිය ජාත්‍යන්තර විනිසුරු දිවිය ආරම්භ කළේය.
ඔහු 1996 වසරේදී විනිසුරු දිවියෙන් විශ්‍රාම ගත් අතර, අවසන් වරට ඔහු විනිශ්චය කළේ ඉන්දියාවට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති ටෙස්ට් තරගයයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන සව්රව් ගංගුලි සහ රාහුල් ද්‍රාවිඩ් දෙදෙනාම සිය මංගල ටෙස්ට් වරම් දිනාගත්තේ ද එම තරගයේදී වීම විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval