රේගු භාරයේ රඳවාගෙන ඇති BYD සන්නාමයේ විද්‍යුත් මෝටර් රථ 506ක්, අමතර බැංකු ඇපයක් මත මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළේය. ජෝන් කීල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනු කර තිබූ පෙත්සමක්, සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවට එළැඹිණි.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මීට පෙර ඇතිකරගත් එකඟතාවක් මත වාහන 991ක් බැංකු ඇපකරයක් මත නිදහස් කර තිබියදී, එම කාණ්ඩයටම අයත් තවත් වාහන 506ක් මුදා හැරීම රේගුව ප්‍රතික්ෂේප කර ඇති බවයි. රේගුවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් තම සේවාදායක සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින්, මීට පෙර අවස්ථාවකදී බැංකු ඇප මත වාහන නිදහස් කිරීමේදී, ඒ හා සම්බන්ධ විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය එකඟ වූ බව සිහිපත් කළේය. එහෙත්, අදාළ වාහනවල තාක්ෂණික තොරතුරු ලබා දෙන ලෙස රේගුව විසින් ඉල්ලීම් කළ ද, පෙත්සම්කාර සමාගම එය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, එකඟ වූ පරිදි අදාළ බැංකු ඇපකරය මත වාහන 506 මුදා හැරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියම කළේය. මෙම පෙත්සම නැවත විභාග කිරීම සඳහා සැප්තැම්බර් මස 15 වන දිනට කල් තබන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval