mother-who-lost-child-at-bus-stop-says-husband-cannot-adopt-child-with-extramarital-affair

 මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයේ, දෙවනගල රජමහ විහාරස්ථානය ආසන්නයේ පිහිටි බස් නැවතුම්පොළක දමා ගොස් සිටි සය හැවිරිදි දැරියගේ මව පොලිසිය විසින් සැප්තැම්බර් 02 වන දා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ, දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි එක්දරු කාන්තාවකි.



ඉකුත් සැප්තැම්බර් 01 වන දා සවස් කාලයේදී මෙම දැරිය, ඇයගේ උප්පැන්න සහතිකය සහ සායන කාඩ්පත අඩංගු බෑගයක්ද සමගින් අදාළ බස් නැවතුම්පොළේ තනිවම හඬමින් සිටියදී

ඒ අසල ත්‍රිරෝද රථ ගාලේ රියැදුරන් පිරිසකට හමු වී තිබේ. ඔවුන් විසින් සිද්ධිය පිළිබඳව මාවනැල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් දැරිය වහාම මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් විමර්ශනයකදී, දැරියගේ මුල් පදිංචිය වූ මහියංගණය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ සහය ඇතිව මවගේ දුරකථන අංකය සොයා ගැනීමට පොලිසිය සමත් විය.

එම දුරකථන අංකය ඔස්සේ සිදුකළ දැනුම්දීමකට අනුව, සැකකාර මව පසුදින, එනම් සැප්තැම්බර් 02 වන දා පොලිසියට පැමිණ තිබිණි.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාරිය පවසා ඇත්තේ තම සැමියා වෙනත් කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තමන්ව සහ දරුවා අතහැර යාමෙන් අනතුරුව, දරුවා හදා වඩා ගැනීමට තමාට කිසිදු ආර්ථික හැකියාවක් නොමැති බවයි. එම හේතුව මත දරුවා නැවත භාරගැනීමද ඇය ප්‍රතික්ෂේප කර තිබේ. දැරිය මේ වන තෙක් පාසලකට ඇතුළත් කර නොමැති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර මව, ඊයේ (03) දින මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.